තාබිඊ වරයකු වූ මාලික් ඉබ්නු අව්ස් තුමා මෙසේ දන්වා සිටියි: ඇත්තෙන්ම ඔහු ළඟ රන් කාසි කිහිපයක් විය. ඒවා රිදී කාසි වලට හුවමාරු කිරීමට සිතුවේය. එවිට තල්හා ඉබ්නු උබෙයිදුල්ලා (රළියල්ලාහු අන්හු) තුමා ඔහුට: 'ඔබේ රන්කාසි බලන්න ඒවා රැගෙන එන්න' යැයි පැවසූහ. අනතුරුව විකිණීමට ස්ථීර කර ගත් පසුව ඔහුට: 'අපේ සේවකයා පැමිණිමෙන් පසු අප වෙත එන්න. ඔබට රිදී කාසි ලබා දෙන්නම්' යැයි පැවසූහ. උමර් ඉබ්නු කත්තාබ් තුමා එම සභාව තුළ වූහ. එම ආකාරයේ ගනුදෙනු එතුමා පිළිකුල් කළහ. 'දැන්ම රිදී කාසි ලබා දෙන්න එසේ නැතහොත් ඔහුගෙන් ගත් ඔහුගේ රන්කාසි ඔහුට නැවත ලබා දෙන්න' යැයි එතුමා දිවුරා තල්හා තුමාට පවසා සිටියහ. එමෙන්ම ඒ සඳහා හේතු පවසමින් මෙසේ පැවසූහ. 'සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රිදියට රන් හෝ රනට රිදී හෝ විකිණීමේදී එය අත්පිට ලෙස සෘජුවම ලැබිය යුතු බවත්, එසේ නොවී නම් එය තහනම් පොළී වෙළදාමක් බවට හෝ නිත්‍යානුකූල නොවන ගනුදෙනුවක් බවට පත්වනු ඇති බවත් පවසා ඇති බව මෙනෙහි කළහ. එබැවින් රිදියට රන් හෝ රනට රිදී හෝ අත්පිට ලෙස හැර නොවිකිණය යුතුය. හුවමාරුව සම්පූර්ණ කළ යුතුය. එමෙන්ම තිරිඟු සඳහා තිරිඟු, ඉරිඟු සඳහා ඉරිඟු, බාර්ලි සඳහා බාර්ලි සහ රට ඉඳි සඳහා රට ඉඳි යනාදිය ගනු දෙනු කරන්නේ නම් ඒවා බරට බර, මිනුමට මිනුම, අතට අත හුවමාරු කිරීමෙන් මිස ඒවායින් කිසිවක් කල්තියා අලෙවි කළ නොහැක. ඒවා භාර ගැනීමට පෙර වෙන්ව යාමට අවසරද නැත.