ඉතා පැහැදිලිව වටහා ගනු පිණිස උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වුළු ගත් අයුරු ප්‍රායෝගිකව ඉගැන්වීය. භාජනයක ජලය ගෙන්වා ගෙන තම අත් දෙකට තුන් වරක් ජලය වක් කළේය. ඉන්පසු ඔහුගේ දකුණත ජල බඳුනට දමා, ඉන් ජලය ගෙන තම කට තුළ දමා සෝදා එළියට විසි කළේය. ඒ සමගම තම නාසය තුළට ද ජලය ගලා යන්නට සළස්වා සෝදා ගෙන පසුව එය එළියට බැහැර කර පිරිසිදු කර ගත්තේය. පසුව තම මුහුණ තුන් වරක් සෝදා ගත්තේය. පසුව තම අත් දෙක වැළමිට දෙක දක්වා තුන්වරක් සෝදා ගත්තේය. පසුව තෙත් අති් තම හිස මත එක් වරක් පිරිමදින්නට ගත්තේය. පසුව තම පාද දෙක වළලු කර දෙක ඇතුළුව තුන් වරක් සෝදා හැරියේය. එම සහාබිවරයා තම වුළූ ධෝවනය අවසන් කර ගත් කල්හි, සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මේ අයුරින් වුළු ගත් සැටි තමන් දැක තිබෙන බවත් කවරෙකු එතුමාගේ වුළු ධෝවනයට සමාන ව වුළු ගෙන පසුව රකආත් දෙකක් තම සිත පරමාධිපති අබියස අවංක හා භක්තිමත්ව ඉදිරිපත් කරමින් ඉටු කළේ ද ඔවුනට ශුභාරංචි දන්වා ඇති බවත් පවසා සිටියේය. සැබැවින්ම මෙම වුළු ධෝවනය සහ අවංකව හා පරිපූර්ණව ඉටු කරනු ලබන මෙම සලාතය තමන් කළ පෙර පව් සඳහා සමාව හිමිවන ප්‍රතිකර්ම දෙකක් වශයෙන් අල්ලාහ් ඔහුට තිළිණ කරනු ඇත.