නජ්ද් වාසීන් අතරින් හිසකෙස් අවුල් වුණු මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණියේය. ඔහුට රළු හඬක් විය. ඔහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත ළඟා වන තුරුම ඔහු පවසන දේ අපට වැටහුණේ නැත. පසුව ඔහු ඉස්ලාමයේ වගකීම් පිළිබඳ විමසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සලාතයෙන් ආරම්භ කළ අතර සෑම රාත්‍රියකම හා දහවලකම පස්වරක් සලාත් ඉටු කිරීම ඔහුට අල්ලාහ් අනිවාර්යය කර ඇතැයි ද ඔහුට දන්වා සිටියහ. "මේ වාර පහ හැර වෙනත් සලාතයන් මා වෙත පැවරෙන්නේ ද?" යැයි ඔහු විමසීය. එතුමාණෝ: “නැත, නමුත් ඔබ අතිරේකව කරන සලාතයන් හැර.” යැයි පැවසූහ. පසුව එතුමා නැවතත්: “ඔබට අල්ලාහ් අනිවාර්යය කළ තවත් කරුණක් වනුයේ රමළාන් මාසයේ උපවාසය රැකීම” යැයි පැවසූහ. එවිට එම මිනිසා: 'රමළාන් උපවාසය හැර වෙනත් උපවාසයක් මා වෙත පැවරෙන්නේ ද?' යැයි විමසීය. එතුමාණෝ: “නැත නමුත් ඔබ අතිරේකව ඉටු කරන්නේ නම් මිස.” යැයි පැවසූහ. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ ඔහුට සකාතය පිළිබඳ මෙනෙහි කළහ. එවිට එම මිනිසා: "අනිවාර්යය සකාතයෙන් පසු වෙනත් දන්දීමක් මා වෙත පැවරෙන්නේද?" යැයි විමසීය. එතුමාණෝ: “නැත, අමතරව ඔබ ඉටු කරන්නේ නම් මිස" යැයි පැවසූහ. මෙම වගකීම් සම්බන්ධව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසා දැනගත් පසු හෙතෙම හැරී ගොස්, මීට වඩා කිසිදු වැඩි කිරීමක් හෝ අඩු කිරීමක් හෝ නොකර තමන් එය පිළිපදින බවට අල්ලාහ් මත දිවුරා පවසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) “එම මිනිසා දිවුරා සිටි පරිදි සත්‍යය පවසා ඇත්නම් සැබැවින්ම ඔහු ජයග්‍රාහකයින් අතරින් වනු ඇත.” යැයි පැවසූහ.