නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ දියණිය වූ ෆාතිමා (රළියල්ලාහු අන්හා) තුමිය එතුමාණන් වෙත පැමිණ ඇඹරුම් ගලෙහි ඇඹිරීම හේතුවෙන් ඇගේ අතෙහි හට ගෙන තිබූ සළකුණ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණි. එතුමාණන් වෙත වහලුන් පැමිණි කල්හි ඒ අය අතරින් තමන්ගේ ස්ථානයේ හිඳ නිවසේ කටයුතු කිරීම සඳහා සේවකයකු ඉල්ලා සිටීමට ඇය පැමිණියාය. නමුත් එතුමාණන්ව තම නිවසේ දකින්නට නොවීය. පසුව ඇය ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය හමු වී ඒ ගැන ඇයට සඳහන් කර සිටියාය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැමිණි කල්හි, එතුමාණන්ගෙන් වහලෙකු ඉල්ලා ෆාතිමා තුමිය පැමිණි සිටි බව ආඉෂා තුමිය එතුමාණන්ට දන්වා සිටියාය. ෆාතිමා තුමිය හා අලී තුමා (රළියල්ලාහු අන්හුමා) නිදන්නට සූදානම් ව සිටිය දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔවුන් වෙත පැමිණ ඔවුන් අතර වාඩි වූහ. එතුමාණන්ගේ පාද දෙකෙහි සීතළ අලී තුමාගේ කුසට දැනෙන තරමට විය. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ. "සේවකයකු ඔබට ලබා දෙන මෙන් ඔබ මගෙන් ඉල්ලා සිටින කරුණට වඩා ශ්‍රේෂ්ට යමක් මා ඔබ දෙපළට උගන්වන්න ද?" "එසේය" යැයි ඔවුන් දෙදෙනා පැවසුවෝය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. රාත්‍රියේ නිදන්නට ඔබ දෙදෙනා සූදානම් වූ විට අල්ලාහු අක්බර් (අල්ලාහ් අති ශ්‍රේෂ්ටය) යැයි තිස් හතර වරක් පවසා ඔහුව ශ්‍රේෂ්ටත්වයට පත් කරන්න. සුබ්හානල්ලාහ් (අල්ලාහ් සුවිශුද්ධය) යැයි තිස්තුන් වරක් පවසා ඔහු පිවිතුරු කරන්න. අල්හම්දු ලිල්ලාහ් (සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යැයි තිස්තුන් වරක් පවසා අල්ලාහ්ව පැසසුමට ලක් කරන්න. මෙම අනුවාද ඔබ සේවකයකු ලබනවාට වඩා ඔබ දෙපළට ශ්‍රේෂ්ට වන්නේය.