අබූ බක්ර් හා උමර් (රළියල්ලාහු අන්හුමා) අතුළුව සහාබාවරුන් පිරිසක් අතර නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වාඩි වී සිටියහ. පසුව එතුමාණෝ නැගිට ඔවුන් අතරින් සෙමින් යන්නට වූහ. සතුරන්ගෙන් යම් කරදරයක් එතුමාණන්ට සිදුවේදෝයි අපි බියවීමු. සහාබාවරු තිගැස්සී නැගිට සිටියෝය. එසේ තිගැස්සුනු අය අතරින් පළමුවැන්නා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විය. අවසානයේ හෙතෙම නජ්ජාර් ගෝත්‍රයට අයත් අන්සාරිවරයකු සතු වත්තකට පැමිණ, එය වටා යමින් එහි විවෘතව ඇති දොරක් තිබේදැයි සොයා බැලුව ද ඔහුට කිසිවක් ලැබුණේ නැත. නමුත් පිටත ඇති ලිඳකින් බිත්තිය මැදින් දියපහරක් ගලා යන විවරයක් හෙතෙම දුටුවේය. පසුව ඔහුගේ ඇඟ පොඩි කරවාගෙන එහි පිවිසීය. ඔහු එහි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව දුටුවේය. එවිට එතුමාණෝ: "අබූ හුරෙයිරාදැ?"යි විමසූහ. ඔහු, "එසේය" යැයි පැවසීය. "ඔබේ කාරණාව කුමක්දැ?"යි එතුමාණෝ විමසූහ. අබූ හුරෙයිරා තුමා, "ඔබ අප අතර සිටියෙහිය. පසුව නැගිට අපෙන් දුරස්ව ගියහ. අප නොමැතිව ඔබට යමක් සිදු කරනු ලබනු ඇතැයි අපි බිය වීමු. අපි තිගැස්සුණෙමු. එසේ තිගැස්සී ගිය අය අතරින් පළමුවැන්නා මම වූයෙමි. පසුව මම මේ බිත්තිය අසළට පැමිණියෙමි. නරියකු රිංගා යන්නාක් මෙන් මම ද රිංගා මෙහි ඇතුළු වූයෙමි. මට පසුපසින් ඒ ජනයා ද සිටිති" යැයි පැවසුවේය. ඔහු සත්‍යවාදියෙකු යැයි සහතික වනු පිණිස සළකුණක් හා සංකේතයක් ලෙස එතුමාණන්ගේ පාවහන් යුගලය ඔහුට පිරිනමා, මෙසේ පැවසූහ: "මාගේ මේ පාවහන් දෙක ඔබ රැගෙන ගොස්, මෙම බිත්තියට පිටුපසින්, "ලා ඉලාහ ඉල්ල්ලලාහ්" (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත) යැයි තම හදවතින් දැඩි විශ්වාසයකින් යුතුව සාක්ෂි දරන්නෙකු ඔබ හමු වූයෙහි නම්, ඔහු තුළ මෙම ගුණාංග වී නම්, ඔහුට ස්වර්ගය හිමි බව ශුභාරංචි දන්වන්න." මා හමු වූ පළමුවැන්නා උමර් තුමා විය. එවිට එතුමා, "අහෝ අබූ හුරෙයිරා මේ පාවහන් යුගල කුමක් දැ?"යි විමසා සිටියේය. එවිට මම: "මෙය අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පාවහන් යුගලයයි. 'ලා ඉලාහ ඉල්ල්ලලාහු' යැයි තම හදවතින් දැඩි විශ්වාසයකින් යුතුව සාක්ෂි දරන්නෙකු මා හමු වූයේ නම්, ඔහුට ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දන්වන මෙන් පවසා එතුමාණෝ මා එවූහ." යැයි හෙතෙම පවසා සිටියේ ය. එවිට උමර් තුමා මාගේ පපුවට එතුමාගේ අතින් පහරක් දුන්හ. මම පසු පස්සට ඇඳ වැටුණෙමි. පසුව එතුමා: "අහෝ අබූ හුරෙයිරා, ඔබ නැවත හැරී යනු" යැයි පැවසීය. පසුව මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත අඬන්නට සූදානම්, වෙනස් වූ මුහුණකින් යුතුව බියෙන් හැරී ගියෙමි. උමර් තුමා ද මා ලුහුබදිමින් මා පසුපසින් ඇවිදගෙන ආවේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): "අහෝ අබූ හුරයිරා! ඔබට කුමක් සිදුවී ද?" යැයි විමසූහ. මම: "මා උමර්ව හමුවී ඔබ මා කවර කරුණක් සඳහා එවා සිටියේ ද ඒ ගැන මම එතුමාට දන්වා සිටියෙමි. එවිට එතුමා මට පහරක් දුන්හ. මාගේ පසු පැත්තට මම ඇද වැටුණෙමි. පසුව එතුමා මට: "හැරී යන්න"යි පැවසූහ යැයි කීවෙමි. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ: "අහෝ උමර්! ඔබ කළ දෑ සඳහා ඔබව පෙළඹවූයේ කුමක් ද?" උමර් තුමා, "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මගේ මව හා මගේ පියා ඔබට කැප කරමි. 'ලා ඉලාහ ඉල්ල්ලලාහ්' යැයි තම හදවතින් දැඩි විශ්වාසයකින් යුතුව සාක්ෂි දරන්නෙකු ඔහු හමු වූයේ නම් ඔහුට ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දන්වන මෙන් පවසා ඔබේ පාවහන් දෙක සමග ඔබ අබූ හුරෙයිරාව එව්වෙහි ද?" යැයි විමසීය. එතුමාණෝ, "එසේය" යැයි පැවසූහ. එවිට උමර් තුමා, "ඔබ තුමාණන් එසේ නොකරන්න. මිනිසුන් ක්‍රියාවන් නොකර හුදෙක් එම ප්‍රකාශය මත පමණක් රැඳී සිටිනු ඇතැයි මම බියවීමි. එබැවින් ඔවුන් ක්‍රියා කරන්නට අත්හරින්න." යැයි පැවසුහ. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ: "එසේ නම් ඔවුන් අත්හැර දමන්න."