"අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හුනෙයින් වෙත පිටත්ව ගියහ. එය තාඉෆ් හා මක්කාව අතර වූ මිටියාවතකි. සමීපයෙන් ඉස්ලාමය වැළදගත් සහාබාවරුන් කිහිප දෙනෙකු ද එතුමාණන් සමග වූහ. ඔවුහු 'සාතු අන්වාත්' නම් ගසක් අසළින් ගමන් ගත්හ. එනම් එල්ලා තබන ලද දෑ යන අර්ථය වේ. බහුදේව වාදීන් එයට ගරුබුහුමන් කළ අතර ඔවුන්ගේ ආයුධ හා වෙනත් දෑ ආශිර්වාද ලබනු පිණිස එහි එල්ලා තබති. ආශිර්වාද පතමින් තම ආයුධ එල්ලා තබන්නට ඒ හා සමාන ගසක් තමන්ටත් නියම කරන මෙන් ඔවුහු අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් ඉල්ලා සිටියහ. එසේ ඔවුන් ඉල්ලා සිටියේ එය අනුමත කරුණක් බව සිතමිනි. මෙම ප්‍රකාශය හෙළා දකිමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් "සුබ්හානල්ලාහ්" යැයි අල්ලාහ්ට ගරුබුහුමන් කොට තස්බීහ් පැවසූහ. එමෙන්ම සැබැවින්ම මෙම ප්‍රකාශය “ඔවුනට දෙවිවරුන් සිටින සේ අපටත් දෙවිවරුන් නියම කරන්න." යැයි මූසාගේ ජනයා කළ ප්‍රකාශයට සමාන බව ද දන්වා සිටියහ. ඔවුන් පිළිම වන්දනා කරන ජනයා දුටු කල්හි, බහුදේවවාදීන්ගේ ක්‍රියා කලාපය අනුගමනය කරමින් ඔවුනට තිබෙනවාක් මෙන් තමන්ටත් පිළිම නියම කරන මෙන් ඔවුහු ඉල්ලා සිටියහ. සැබැවින්ම මෙම සමූහයා යුදෙව්වන්ගේ හා කිතුනුවන්ගේ මාර්ගය අනුගමනය කරනු ඇතැයි ද ඔවුන්ගේ ක්‍රියාවන් අනුව කටයුතු කරනු ඇතැයි ද ඒ ගැන අවවාද අනතුරු අඟවමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියහ.