අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) : "ඔහු වනාහි, නුඹ වෙත ධර්ම ග්‍රන්ථය පහළ කළේය. එහි පැහැදිලි තීන්දු සහගත වැකි ඇත. ඒවා ධර්ම ග්‍රන්ථයේ මූලය යි. තව ද අනෙක් ඒවා විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත වැකි ය. එබැවින් තම හදවත් තුළ ව්‍යාකූලත්වය ඇත්තන් වූ කලි, ඔවුන් කලහකම් කිරීමේ අපේක්ෂාවෙන් ද, එහි අර්ථ විකෘති කිරීමේ අපේක්ෂාවෙන් ද එයින් විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත දෑ අනුගමනය කරති. එහි යථාර්ථය අල්ලාහ් හා ගැඹුරු ඥානය ඇත්තවුන් හැර වෙන කිසිවෙකු නොදන්නේය. තවද අපි එය විශ්වාස කළෙමු. ‘සියල්ල අපගේ පරමාධිපති වෙතිනි' යැයි ඔවුහු පවසති. බුද්ධිමත් අය හැර වෙනත් කිසිවෙක් මෙනෙහි කරන්නේ නැත." යන (ආලු ඉම්රාන් 7 වන) පාඨය පාරායනය කළහ. සැබැවින්ම තම නබිවරයාණන් වෙත අල් කුර්ආනය පහළ කළේ තමන් බවත්, එහි විකෘතිභාවය නැති පැහැදිලි සාධක සහ තීන්දු සහගත වැකි ඇති බවත් එය දේව ග්‍රන්ථයේ මූලය හා යොමුව බවත් මත භේදයක් හටගත් විටෙක ඒ වෙත යොමු විය යුතු බවත් අල්ලාහ් එහි දන්වා සිටියි. තවදුරටත් විවිධ වූ අර්ථ බොහෝමයකින් සමන්විත වැකි ද ඇති බවත් ඇතැම් මිනිසුනට ඒවායෙහි අර්ථ ව්‍යාකූල වී ඇති බවත්, එසේ නැතහොත් එම පාඨය හා අනෙක් පාඨ අතර පරස්පරතාවන් ඇති බව ඔවුන් සිතන බවත් දන්වා සිටියේය. පසුව අල්ලාහ් මෙම පාඨය සමග ක්‍රියා කළ යුතු ආකාරය පැහැදිලි කළේ ය. ඔවුන්ගේ හදවත් තුළ සත්‍යයෙන් ඉවතට නැඹුරුතාවත් ඇති හා පැහැදිලි තීරණාත්මක වැකි අත්හැර විවිධ අර්ථයන්ගෙන් සමන්විත දෑ පිළිපදින්නන් වනාහි, ඔවුන් එමගින් කලහකම් කිරීමටත් මිනිසා නොමඟ යවන්නටත් අපේක්ෂා කරති. එමෙන්ම ඔවුන්ගේ ආශාවන්ට අනුගත වන පරිදි අර්ථ දැක්වීමට අපේක්ෂා කරති. නමුත් ගැඹුරු ඥානය ඇත්තවුන් මෙම විවිධ අදහස් ඇති දෑ හඳුනා ගනිති. තීරණාත්මක දෑ වෙත එය යොමු කරති. එය විශ්වාස කරති. සැබැවින්ම එය උත්තරීතර අල්ලාහ්ගෙන් බවත් එහි යමක් විකෘති වීමට හෝ පරස්පර වීමට හෝ කිසිදු ඉඩක් නැති බවත් විශ්වාස කරති. එය මෙනෙහි කර එමගින් උපදෙස් ලබනුයේ මනා බුද්ධිය ඇත්තවුන් පමණය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දේවත්වය විශ්වාස කළවුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා ) තුමියට මෙසේ පවසා සිටියහ. ඔබ විවිධ අදහස් ඇති දෑ පිළිපදින්නන් ඔබ දුටු විටෙක "තම හදවත් තුළ ව්‍යාකූලත්වය ඇත්තන් වූ කලි" යන වදනෙහි අල්ලාහ් නම් කර ඇත්තේ ඔවුන් ගැන බව එතුමියට දන්වා සිටි අතර ඔවුනට අවවාද කරන මෙන් ද ඔවුනට සවන් නොදනෙ මෙන් ද පවසා සිටියහ.