මස්ජිදයේ රැස්ව සිටි පිරිසක් වෙත මුආවියා ඉබ්නු අබූ සුෆ්යාන් (රළියල්ලාහු අන්හුමා) පිටත්ව ගොස් ඔවුන් රැස් වූයේ කවර කරුණක් සඳහා දැයි ඔවුන්ගෙන් විමසා සිටියේය. එවිට ඔවුහු: "අපි අල්ලාහ්ව මෙනෙහි කිරීම සඳහා" යැයි පැවසුවෝය. මෙනෙහි කිරීමට හැර වෙනත් කිසිඳු කරුණක් සඳහා ඔවුන් රැස්ව වාඩි වන්නට නොසිතූ බව දිවුරා පවසන මෙන් එතුමා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. එවිට ඔවුහු ඔහුට දිවුරා සිටියෝය. පසුව ඔහු: "සැබැවින්ම ඔබ ගැන සැකය නිසාවෙන් හෝ ඔබේ සත්‍ය භාවය ගැන සැකය නිසාවෙන් හෝ මෙසේ දිවුරා පවසන මෙන් මම ඔබෙන් නො ඇසුවෙමි" යැයි පවසා, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉදිරියේ තමන්ගේ නිලය ගැන මෙනෙහි කරමින් තම සහෝදරිය වූ උම්මු හබීබා එතුමාණන්ගේ බිරිය වූ බැවින් ද, තමන් දිව්‍ය පණිවිඩ ලේඛන ගත කරන්නන් අතරින් කෙනෙකු වූ බැවින් ද, එතුමාණන්ට සමීප තත්ත්වයේ තමන්ට වඩා කිසිවකු නොවූ බවත් පෙන්වා දෙමින් ඒ සමගම තමන් හදීස් ස්වල්ප ප්‍රමාණයක් පමණක් වාර්තා කර ඇති බවත් දන්වා සිටියේ ය. දිනක් තම නිවසින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පිටත්ව ගොස් මස්ජිදයේ අල්ලාහ්ව මෙනෙහි කරමින්, ඉස්ලාමය වෙත ඔවුනට මඟ පෙන්වූ බැවින් හා ඒ වෙත ආශිර්වාද කළ බැවින් ඔහුට ප්‍රශංසා කරමින් වාඩි වී සිටින පිරිසක් දුටුහ. පසුව මුආවියා (රළි) තුමා තම මිතුරන් සමග කටයුතු කළ අයුරින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ද තම මිතුරන්ගෙන් මෙසේ දිවුරා පවසන මෙන් විමසා ඇති බව දන්වා සිටියහ. අනතුරුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තමන් එසේ ප්‍රශ්න කර සිටීමට හා දිවුරා සිටින මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටීමට හේතු වූ කරුණු ඔවුනට පවසා සිටියහ. එනම්: සැබැවින්ම සූර දූත ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා තමන් වෙත පැමිණ සැබැවින්ම සර්වබලධාරී අල්ලාහ් ඔබ ගැන මලක්වරුන් ඉදිරියේ අභිමානයෙන් හා පාරාට්ටුවෙන් කතා කරන බවත්, ඔබේ මහිමය ගැන ඔවුන් ඉදිරියේ හෙළි කරන බවත්, ඔබේ ක්‍රියාවන් ගැන ඔවුනට පෙන්වන බවත්, ඔබ ගැන අගයමින් ඔවුන් ඉදිරියේ ප්‍රශංසා කරන බවත් තමන්ට දන්වා ඇති බව පවසා සිටියහ.