නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ඉබ්නු අල්-ලුත්බියා නම් මිනිසෙකු සුලෙයිම් ගෝත්‍රයේ සකාත් එකතු කිරීම සඳහා සේවයේ යෙදවූූහ. ඔහු ලබා ගත් දෑ හා වියදම් කළ දෑ සම්බන්ධව ගණන් හිලව් කිරීමට ආපසු පැමිණි කල්හි, ඉබ්නු අල්-ලුත්බිය්යා මෙසේ පැවසීය: "මම සකාත් වශයෙන් රැස්කළ මෙය ඔබලා සතුය. මේ වස්තුව මට තෑග්ගක් ලෙස ලබා දෙන ලදී." එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ: "ඔබ සත්‍යවාදී නම්, ඔබේ තෑග්ග ඔබ වෙත පිරිනමනු ලබන තෙක් ඔබ ඔබේ පියාගේ සහ මවගේ නිවසේ බලාපොරොත්තුවෙන් රැඳී නො සිටියේ මන්ද? ඔබ සේවය කළ ඔබේ මෙම වගකීම් ඔබට ත්‍යාග ලැබීමට හේතුවයි. ඔබ නිවසේ සිටියේ නම් ඔබට කිසිවක් තෑගි ලෙස ලැබෙන්නේ නැත. එය ඔබට තෑග්ගක් ලෙස ලබා දුන් පමණින් ඔබ එය අවසරයක් ලෙස නොසැලකිය යුතුය." පසුව එතුමාණෝ කෝපයෙන් යුතුව මින්බර් වේදිකාවට නැග අල්ලාහ්ට ප්‍රශංසා කිරීමෙන් හා පැසසුම් කිරීමෙන් පසු, මෙසේ පැවසූහ: මෙම ප්‍රකාශයෙන් පසු සකාත්, හා ඝනීමත් භාණ්ඩ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී අල්ලාහ් මට පවරා ඇති අධිකාරියේ වැඩ කරන සේවකයකු මම පත් කළෙමි. පසුව ඔහු සේවය නිමා කර පැමිණ මෙසේ කියයි. මෙය ඔබලා සතුයි. මෙය මට තෑග්ගක් ලෙස පිරිනමන ලදී.! ඔහුට තෑගි ලැබෙන තෙක් ඔහු තම පියාගේ හෝ මවගේ නිවසේ රැඳී නොසිටියේ ඇයි? අල්ලාහ් මත දිවුරා පවසමි. ඔබ අතරින් කෙනෙකු පිරිනමන ලද දැයින් අයුතු ලෙස යමක් ගන්නේ නම්, ඔහු නියත වශයෙන්ම විනිශ්චය දිනයේදී එය දරාගෙන සර්වබලධාරී අල්ලාහ් හමුවනු ඇත. එය ඔටුවෙකු හෝ එළදෙනක් හෝ බැටළුවෙකු හෝ වේ නම් උන් කෑ ගසන තත්ත්වයේ ඔහු රැගෙන එනු ඇත. ඉන්පසු, එතුමාණන්ගේ කිහිලිවල සුදු පැහැය වාඩි වී සිටින්නන් දකින තෙක් දෑත් ඔසවා “දෙවිඳුනි! අල්ලාහ්ගේ නියමය ඔබලා වෙත මම දන්වා සිටියෙමි." යැයි පැවසූහ. පසුව අබූ හමීද් අස්-සාඉදී (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දන්වා සිටියේය: "සැබැවින්ම මෙය මාගේ ඇසින් දුටු මාගේ කනින් සවන් දුන් දෑය."