මෙලොව වස්තුවෙන් යමක් තමන්ට පිරිනමන මෙන් හකීම් ඉබ්නු හිසාම් (රළියල්ලාහු අන්හු) තුමා, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් ඉල්ලා සිටියේය. එතුමාණෝ ඔහුට දුන්හ. නැවතත් හෙතෙම ඉල්ලා සිටියේය. එවිට ද දුන්හ. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහු අමතා මෙසේ පැවසූහ: "අහෝ හකීම්! නියතවශයෙන්ම මෙම වස්තුව ආශාව හා කෑදර කම ඇති කරන්නකි. එහෙයින් කවරෙකු ඉල්ලීමකින් තොරව ඒ වෙත පැමිණ කෑදරකමෙන් හෝ බලකිරීමෙන් තොරව එය ලබා ගන්නේද එයින් ඔහුට සමෘද්ධිය ඇති වේ. කවරෙක් එය කෑදර කමින් හා තෘෂ්ණාවෙන් ලබා ගන්නේද එහි ඔහුට සමෘධිය ඇති නොවේ. එවිට ඔහු ආහාර අනුභව කළ ද කුස නොපිරැණු කෙනෙකු මෙන් වන්නේය. වියදම් කරන ඉහළ අත ඉල්ලා සිටින පහළ අතට වඩා අල්ලාහ් ඉදිරියේ උසස් වේ" යැයි පැවසූහ. පසුව හකීම් මෙසේ පවසා සිටියේය: මම මෙසේ පැවසුවෙමි. 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ සත්‍යය සමග එවූ අය මත දිවුරා පවසමි. ඔබ තුමාගෙන් පසුව මම මෙලොවින් සමුගන්නා තුරු කිසිවෙකුගේ මුදල් හිඟ නො කරමි.' අල්ලාහ්ගේ දූතයාණන්ගේ නියෝජිතයා වූයේ අබූබක්කර් (රළියල්ලාහු අන්හු) තුමා ය. පොදු භාණ්ඩාගාරයෙන් හකීම් (රලියල්ලාහු අන්හු) තුමාට දීමනාවක් දීම සදහා කැදවූව ද ඔහු ඉන් කිසිවක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළේය. ඉන් පසු උමර් (රලියල්ලාහු අන්හු) තුමා ද ඔහුට යම් දීමනාවක් දෙන්නට ඇරයුම් කළේය. එවිට ද එය පිළිගන්නට හෙතෙම ප්‍රතික්ෂේප කළේය. එවිට උමර් තුමා මෙසේ පවසා සිටියහ: 'අහෝ මුස්ලිම්වරුනි! සටන් නොකර, අරගල නොකර දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් මුස්ලිම්වරුන් යටතට පත් වූ මෙම වස්තුවෙන් අල්ලාහ් තීරණය කළ හකීම්ගේ කොටස මා ලබා දීමට ඉදිරිපත් වුණෙමි. නමුත් ඔහු එය බාරගැනීමට ප්‍රතික්ෂේප කර ඇත.' හකීම් (රලියල්ලාහු අන්හු) තුමා නබි තුමාණන්ගෙන් පසුව තමන් මිය යන තෙක්ම අන් අයෙගන් කිසිවක් ලබා නොගත්තේය.