මුස්ලිම්වරයෙකු මත මුස්ලිම්වරයකුට පැවරෙන යුතුකම් හයක් ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ. පළමුවැන්න: ඔහුව මුණ ගැසී "අස්සලාමු අලයිකුම්" යැය පවසා සලාම් දුන් විට, පිළිතුරු වශයෙන් "වඅලෙයිකුමුස් සලාම්" යැයි පවසා ඔහුට පිළිතුරු සැපයීම. දෙවැන්න: වලීමා හෝ වෙනත් සංග්‍රහයක් සඳහා ඇරයුම් කළ විට ඔහුට පිළිතුරු දීම. තුන්වැන්න: ඔහු ඔහුගෙන් උපදෙස් පතන විට ඔහුට උපදෙස් දීම. ඔහුට සමච්චල් නොකරන්න. ඔහුව රවටා නොගන්න. සිව්වැන්න: ඔහු කිවිසුම් හැර "අල්හම්දු ලිල්ලාහ්" යැයි පවසා අල්ලාහ්ට- ප්‍රශංසා කළ විට ඔහුට "යර්හමුකල්ලා" යැයි පැවසීම. ඔහු නැවතත් පිළිතුරු වශයෙන් "යහ්දීකුමුල්ලාහු වයුස්ලිහු බාලකුම්" යනුවෙන් පවසනු ඇත. පස්වැන්න: ඔහු රෝගාතුර වූ විට ඔහු බැහැ දැක ඔහුගේ සුවදුක් විමසීම. හයවැන්න: ඔහු මිය ගිය විට ඔහුට ජනාසා සලාතට ඉටු කර ඔහු ව වළ දමන තෙක් ජනසා කටයුතුවල සහභාගී වීම.