ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: මිනිසකු මෙසේ විමසුවේය: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, 'ජාහිලිය්යා' හෙවත් අඥාන යුගයේ අප සිදු කළ දෑ නිසාවෙන් අපි වැරදි කරුවන් ලෙස හසු කරනු ලබන්නෙමු ද? එතුමාණෝ මෙසේ පැවසූහ: "ඉස්ලාමය තුළ කවරෙකු දැහැමි අයුරින් කටයුතු කළේ ද ඔහු අඥාන යුගයේ සිදු කළ වැරදි නිසාවෙන් ඔහු ග්‍රහණය කරනු නොලැබේ. කවරෙකු ඉස්ලාමය තුළ දුෂ්ටකම් සිදු කළේ ද ඔහු ආරම්භය මෙන්ම අවසානයේ සිටම ග්‍රහණය කරනු ලැබේ." صحيح - متفق عليه
explain-icon

විවරණය

ඉස්ලාමය තුළට පිවිසීමේ මහිමය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කරති. කවරෙකු ඉස්ලාමය වැළඳ, ඉස්ලාමය මනා අයුරින් පිළිපැද අවංක සත්‍යවාදියෙකු වූයේ ද අඥාන යුගයේ ඔහු සිදු කළ පාපයන් සඳහා ඔහුගෙන් විනිශ්චය කරනු නොලැබේ. කුහකයෙකු වීමෙන් හෝ තමන් වැළඳගත් දහමින් ඉවත් වීමෙන් කවරෙකු ඉස්ලාමය තුළ නපුරක් සිදු කළේ ද ඔහු දේවත්වය ප්‍රතික්ෂේප කළ කාලය තුළ සිදු කළ දෑ හා ඉස්ලාමය තුළ සිදු කළ දෑ පිළිබඳ ඔහුගෙන් විනිශ්චය කරනු ලැබේ.

explain-icon

හදීසයේ හරය

  • අඥාන යුගයේ තමන් සිදු කළ ක්‍රියාවන් පිළිබඳ සහාබාවරුන් (අල්ලාහ් ඔවුන් පිළිගනිත්වා) තුළ පැවති අවධානය හා ඔවුන්ගේ බිය.
  • ඉස්ලාමය තුළ ස්ථාවර ව සිටීමට උනන්දු කිරීම.
  • ඉස්ලාමය තුළ පිවිසීමේ භාග්‍යය. සැබැවින්ම එය පෙර සිදු කළ පාපයන් සඳහා ප්‍රතිකර්මයක් බවට පත් වේ.
  • ආගමින් බැහැර වූ තැනැත්තා සහ කුහකයා, ඔවුන් අඥාන යුගයේ පෙර සිදු කළ සෑම ක්‍රියාවක් පිළිබඳව සහ ඉස්ලාමයේ කළ සෑම පාපයක් පිළිබඳව විනිශ්චය කරනු ලැබේ.