නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ දන්වා සිටියහ: "අපට පෙර විසූ ජනයා අතර රජකු විය. ඔහු අභියස ඉන්ද්‍රජාලිකයකු ද විය. ඉන්ද්‍රජාලිකයා වයෝවෘද්ධ තත්ත්වයට පත් වූ කල්හි, ඔහු රජු අමතා: 'සැබැවින්ම මම වයෝවෘද්ධභාවයට ළඟා වී ඇත්තෙමි. මා වෙත තරුණයකු එවන්න. මම ඔහුට ඉන්ද්‍රජාලය උගන්වන්නම්' යැයි පැවසීය. පසු ව ඉගැන්වීම සඳහා තරුණයකු රජු විසින් එවන ලදී. ඔහු ඉන්ද්‍රජාලිකයා වෙත යන එන මාර්ගයේ ආගමික විද්වතෙකු ද විය. තරුණයා ඔහු අසළ වරක් වාඩි වී ඔහුගේ කතාවට සවන් දුන් අතර එය ඔහුව පුදුමයට පත් කළේය. ඔහු ඉන්ද්‍රජාලිකයා වෙත යන අතරවාරයේ ආගමික විද්වතා අසළ වාඩි වෙයි. නමුත් නැවත ඉන්ද්‍රජාලිකයා වෙත ගිය විට ඔහු ප්‍රමාද වූ බැවින් ඔහු විසින් ඔහුට පහර දෙන ලදී. ඒ ගැන ඔහු එම ආගමික විද්වතාට පැමිණිලි කර සිටියේය. එවිට ඔහු: 'ඔබ ඉන්ද්‍රජාලිකයාට බිය වූ විටෙක, මාගේ පවුලේ උදවිය මා රඳවා ගෙන සිටි බව ඔහුට පවසන්න. ඔබේ පවුලට බිය වූ විට ඉන්ද්‍රජාලිකයා මා රඳවා ගෙන සිටි බව පවසන්න.' යැයි පැවසීය. එසේ ඔහු යන එන අතරවාරයේ මිනිසුන්ට බාධා කරමින් සිටි විශාල සතෙකු අසළට පැමිණි විට ඔහු මෙසේ පැවසීය: 'අද දින ඉන්ද්‍රජාලිකයා උතුම් ද එසේ නැතහොත් ආගමික විද්වතා උතුම් දැ?යි මම දැන ගනිමි.' පසුව ගලක් ගෙන, 'අහෝ දෙවිඳුනි, ආගමික විද්වතාගේ විෂය ඉන්ද්‍රජාලිකයාගේ විෂයට වඩා ඔබ වෙත ප්‍රියමනාප නම්, ජනතාවට ගමන් කළ හැකි පරිදි මෙමගින් මෙම සත්වයා මරා දමන්නැ'යි පවසා එය වීසි කළේය. එවිට ඌ මැරී වැටුණි. ජනතාව ද නිදහසේ ගමන් කරන්නට විය. පසුව ආගමික විද්වතා වෙත පැමිණ, ඒ ගැන දන්වා සිටියේය. එවිට ආගමික විද්වතා ඔහුට: 'අහෝ දරුව, අද දින ඔබ මට වඩා උතුම් ය. මා දකින දෑ ඔබේ විෂය තුළින් ඔබ ලබා ඇත. සැබැවින්ම ඔබ පරීක්ෂණයට ලක්වනු ඇත. එසේ ඔබ පරීක්ෂණයට ලක් වූයේ නම්, මා පාවා නො දෙන්න. එම කොළුවා අල්ලාහ්ගේ අවසරයෙන් අන්ධයින් හා ලාදුරු රෝගීන් සුව කරන්නට විය. එමෙන්ම අනෙකුත් ලෙඩ රෝග සඳහා ඔහු මිනිසුනට ප්‍රතිකාර කළේය. රජුගේ අන්ධ සභිකයකු මෙය අසා ඔහු වෙත විශාල වශයෙන් තෑගිභෝග රැගෙනවිත් කොළු ගැටයාට මෙසේ පවසා සිටියේය: 'ඔබ මා සුව කළෙහි නම්, මෙහි රැස්කර ඇති දෑ ඔබට ය.' එවිට ඔහු 'මම කිසිවෙකු සුව නොකරමි. සැබැවින්ම සුව කරන්නේ අල්ලාහ් ය. එහෙයින් ඔබ අල්ලාහ්ව විශ්වාස කළෙහි නම්, මම අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන්නම්. ඔහු ඔබට සුවය දෙනු ඇත.' යැයි පැවසීය. පසුව ඔහු අල්ලාහ්ව විශ්වාස කළේය. අල්ලාහ් ඔහුට සුවය දුන්නේය. පසුව ඔහු රජු අසළට පැමිණ ඔහු වාඩි වන පරිදිම ඔහු (රජු) ළඟ අසුන් ගත්තේය. එවිට රජු ඔහුට මෙසේ පැවසීය. 'ඔබේ බැල්ම ඔබට නැවත දුන්නේ කවු ද?' ඔහු: 'මාගේ පරමාධිපතියාණන්' යැයි පැවසීය. ඔහු: 'ඔබට මා හැර වෙනත් අධිපති කෙනෙකු සිටිත් ද?' යැයි විමසීය. ඔහු: 'මගේ පරමාධිපතියාණන් හා ඔබේ පරමාධිපතියාණන් අල්ලාහ් ය.' යැයි කීය. එවිට ඔහු ඔහුව අල්ලාගෙන කොළු ගැටයා පෙන්වා දෙන තෙක් ඔහුට දඬුවම් කරන්නට ගත්හ. පසුව කොළු ගැටයා ගෙන එන ලදී. එවිට රජු ඔහුට: 'දරුව! අන්ධයින් හා ළාදුරු රෝගීන් සුව කරන තරම් ඔබ හූනියම ගැන දැනුම ලැබුවෙහි ද? ඔබ මේ මේ දේවල් සිදු කර ඇත්තෙහිය.' යැයි විමසීය. එවිට ඔහු: 'මම කිසිවකු සුව කරන්නේ නැත. සැබැවින්ම සුව කරන්නා අල්ලාහ්ය.' යැයි පැයසීය. පසුව ඔහු අල්ලාගෙන ආගමික විද්වතා පෙන්වා දෙන තෙක්ම ඔහුට දඬුවම් කළේය. පසුව ආගමික විද්වතා කැඳවාගෙන පැමිණ, ඔහුට 'ඔබේ දහමින් හැරෙන්න' යැයි පවසන ලදී. එවිට ඔහු ප්‍රතික්ෂේප කළේය. පසුව කියතක් ගෙන්වා, ඔහුගේ හිස මැද කියත තබා කොටස් දෙකකට වෙන්ව වැටෙන තෙක් ඉරා දැමුවේය. පසුව රජුගේ සභිකයා ගෙන්වා ඔහුට: 'ඔබේ දහමින් හැරෙනු' යැයි පවසනු ලැබූ විට ඔහු ද එය පිටුපෑවේය. පසුව ඔහුගේ හිස මැදින් ද කියත තබා දෙපැත්තට වෙන්ව වැටෙන තෙක් ඉරා දැමුවේය. පසුව කොළු ගැටයා ගෙන්වා ඔහුට 'ඔබේ දහමින් හැරෙනු' යැයි පැවසූ විට, ඔහු ද පිටුපෑවේය. පසුව ඔහුගේ සේවකයින් තුන්දෙනෙකු හා දසදෙනෙකු අතර පිරිසකට ඔහුව භාර දී මෙසේ පැවසීය: 'නුඹලා මොහු මේ කන්ද දෙසට ගෙන ගොස් ඔහු සමගම එම කන්දට නැග එහි මුදුණට නුඹලා ලඟා වූ විට, ඔහු ඔහුගේ දහමින් හැරුණේ නම් එසේය. එසේ නොමැති නම්, ඔහුව පහළට විසි කර දමන්න.' යැයි පැවසුවේය. පසුව ඔහුව කැටුවාගෙන ගොස් ඔවුහු එම කන්දට නැග්ගෝය. එවිට එම කොළුවා: 'අහෝ දෙවියනි, ඔබ කැමති නම් ඔවුන්ගෙන් මා ආරක්ෂා කරන්න.' යැයි කීය. එවිට කන්ද ඔවුන් සමග කම්පනය වන්නට ගත්තේය. දැඩි සේ සෙළවෙන්නට විය. ඔවුහු ඇද වැටුණෝය. ඔහු ඇවිදිමින් රජු වෙතට පැමිණියේය. එවිට රජු ඔහුට: 'ඔබ සමග ගිය සගයින්ට කුමක් සිදුවූයේ ද?' යැයි විමසීය. එවිට ඔහු: 'අල්ලාහ් මා ඔවුන්ගෙන් ආරක්ෂා කළේය' යැයි පැවසීය. පසුව ඔහුගේ තවත් සේවක පිරිසකට ඔහුව භාර දී 'ඔහුව කුඩා නැවක නංවා ගෙන මුහුද මැදට ඔහුව ගෙන යන්න. ඔහු දහමින් නැවත හැරුණේ නම් එසේය, එසේ නැතහොත් මුහුදට ඔහු හෙළා දමන්න' යැයි පැවසීය. පසුව ඔවුහු ඔහුව රැගෙන ගියෝය. ඔහු: 'දෙවිඳුනි, ඔබ කැමති නම් ඔවුන්ගෙන් මා ආරක්ෂා කරන්න' යැයි පැවසීය. පසුව නැව ඔවුන් සමගම පෙරළී ගොස් ඔවුහු ගිලුණෝය. පසුව ඔහු රජු වෙතට ඇවිදිමින් ආවේය. එවිට රජු ඔහුට: 'ඔබ සමග ගිය සගයින්ට කුමක් සිදුවූයේ ද?' යැයි විමසීය. ඔහු: 'අල්ලාහ් ඔවුන්ගෙන් මා ආරක්ෂා කළේය.' යැයි කීය. පසුව කොළුවා රජුට: 'සැබැවින්ම මා ඔබට නියෝග කරන පරිදි ඔබ සිදු කරන තෙක් ඔබට මා ඝාතනය කළ නොහැක.' යැයි පැවසීය. ඔහු: 'ඒ කුමක් ද' යැයි විමසීය. ඔහු:"'ඔබ එක් උස් ස්ථානයකට ජනතාව කැඳවා, කඳක මා ගැට ගසා, පසුව මාගේ කොපුවෙන් හීයක් ගෙන, පසුව එම හීය දුන්න මැද තබා, පසුව 'බිස්මිල්ලාහි රබ්බිල් ගුලාම්' (මෙම කොළුවාගේ පරමාධිපතියාණන්ගේ නාමයෙන්) යනුවෙන් පවසා, පසුව මට විදින්න. එසේ ඔබ සිදු කළ විට, ඔබට මා ඝාතනය කළ හැක" යැයි පැවසීය. පසුව උස් තැනකට ජනතාව එක්රැස් කර, කඳක ඔහු බැඳ, පසුව ඔහුගේ කොපුවෙන් හීයක් ගෙන, පසුව දුන්න මැද එය තබා, පසුව 'බිස්මිල්ලාහි රබ්බිල් ගුලාම්' (මෙම කොළුවාගේ පරමාධිපතියාණන්ගේ නාමයෙන්) යනුවෙන් පවසා, පසුව විද්දේය. ඔහුගේ ඇස හා ඔහුගේ කණ අතර හී සැර වැදුණේය. ඔහුගේ අත හීය වැඳුනු ස්ථානයේ නළල අසළ තබා ගනිමින් ඔුහු මිය ගියේය. එවිට මිනිසුන්: 'ආමන්නා බිරබ්බිල් ගුලාම්. ආමන්නා බිරබ්බිල් ගුලාම්. ආමන්නා බිරබ්බිල් ගුලාම්" (මෙම කොළුවාගේ පරමාධිපතිව අපි විශ්වාස කළෙමු යැයි තුන්වරක්) පැවසුවෝය. පසුව රජු ගෙන්වා ඔහුට මෙසේ පවසන ලදී. ඔබ කවර කරුණක් ගැන ප්‍රවේසමෙන් සිටියේ ද එය ඔබ දුටුවෙහි ද? 'සැබැවින්ම අල්ලාහ් මත දිවුරා පවසමු. ඔබ බිය වූ දෑ ඔබට පහළ වී ඇත. එනම් ජනතාව කොළුවාව අනුගමනය කිරීම හා ඔවුන් සියලු දෙනා ඔහුගේ පරමාධිපතියාණන්ව විශ්වාස කිරීමය. පසුව වීදිවල පළල් විශාල වලවල් පොළොවේ හාරන්නට රජු නියෝග කළේය. එහි ගිනි අවුලන්නට විය. තවද හෙතෙම මෙසේ පැවසීය: 'කවරෙකු ඔහුගේ දහමින් බැහැර නොවූයේ ද ඔහුව එහි හෙළා දමන්න.' රජු ඔවුනට නියෝග කළ දෑ ඔවුන් සිදු කළෝය. අවසානයේ කාන්තාවකගේ අවස්ථාව පැමිණෙන තෙක්ම ඔවුහු එසේ සිදු කළෝය. ඇය සමග බිළිඳෙකු විය. ඇය එහි පිවිසෙන්නට අදිමදි කළා ය. එවිට බිළිඳා ඇයට, මෙසේ කීවේය. 'මෑණියනි, ඔබ ඉවසන්න. සැබැවින්ම ඔබ සිටින්නේ සත්‍යය මතය.'