නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැහැදිලි කළහ: මුස්ලිම් -හෝ මුඃමින්- ගැත්තකු වුළූ ධෝවනය කරන අතරවාරයේ ඔහුගේ මුහුණ සෝදා හැරියේ නම් ඔහු තම ඇස් දෙකින් දුටු සෑම කුඩා පාපයක්ම එම ජලය සමග -හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ මුහුණින් පහව යනු ඇත. එසේම ඔහුගේ දෑත් සෝදා හැරියේ නම් ඔහුගේ අතින් සිදු කළ සෑම කුඩා පාපයක්ම එම ජලය සමග -හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ අත් දෙකින් පහව යනු ඇත. එසේම ඔහුගේ පාද සෝදා හැරියේ නම් ඔහුගේ පාද ගමන් කර ඔහු කළ සෑම කුඩා පාපයක්ම එම ජලය සමග -හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ පාද දෙකින් පහව යනු ඇත. අවසානයේ වුළූ ධෝවනය අවසන් කිරීමෙන් සියලු සුළු පාපයන්ගෙන් පිරිසිදු වූ අයකු සේ ඔහු බැහැර වනු ඇත.