නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සෙයිනබ් බින්ත් ජහ්ෂ් (රළියල්ලාහු අන්හා) තුමිය වෙත බිය හා තැතිගත් තත්ත්වයේ පිවිස, "ලා ඉලාහ ඉල්ලල්ලාහු" (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත) යැයි පවසා ශුද්ධ වූ අල්ලාහ් වෙත යොමු වීම හැර ඉන් මිදීමට වෙනත් මඟක් නැති, සිදුවන නපුරක් සම්බන්ධයෙන් පවසන්නට විය. එතුමාණෝ මෙසේ පැවසූහ: සිදුවන්නට ළඟා වී ඇති නපුරින් අරාබිවරුන්ට විනාශය අත් වේවා! යඃජූජ් මඃජූජ් හිර කර ඇති දුල් කර්නයින් විසින් නිර්මාණය කළ බාධකය අද දින මේ ප්‍රමාණයට විවෘත වී ඇත යැයි පවසා එතුමාණෝ තම මහපට ඇඟිල්ල හා ඊට පරව ඇති ඇඟිල්ල රවුම් කොට පෙන්වූහ. එවිට සෙයිනබ් (රළියල්ලාහු අන්හා) තුමිය, "අප අතර දැහැමියන් සිටිය දී අල්ලාහ් අප විනාශ කරනුයේ කෙසේ ද?" යැයි විමසා සිටියාය. එවිට එතුමාණෝ ඇයට මෙසේ පැවසූහ. "පාපකම්, දුෂ්ටකම්, දුරාචාරය, මත්ද්‍රව්‍ය හා අපරාධ යනාදී නපුරු අධික වූ විට විනාශය සිදු වනු ඇත."