නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මුස්ලිම්වරුන් හට කරුණු හතක් නියෝග කළ අතර කරුණු හතකින් ඔවුන් වැළැක්වූහ. ඒවායින් පළමුවැන්න: රෝගියා බැහැදැක සුවදුක් විමසීම. දෙවැන්න: ජනාසාවට සහභාගී වීම, ඒ සඳහා කෙරෙන සලාතය, එය වළ දැමීම හා ඒ සඳහා කරන ප්‍රාර්ථනාව යනාදියට හවුල් වීම. තුන්වැන්න: කිවිසුම හැරිය තැනැත්තා 'අල්හම්දුලිල්ලාහ්' යැයි අල්ලාහ්ට ප්‍රශංසා කළ විට 'යර්හමුකල්ලා' අල්ලාහ් ඔබට ආශිර්වාද කරත්වා යැයි පවසා ඔහුට ප්‍රාර්ථනා කිරීම. සිව්වැන්න: දිවුරන්නා නිදහස් කිරීම හා ඔහුව සහතික කිරීම. ඉන් අදහස් කරනුයේ යම් කරුණක් සම්බන්ධයෙන් දිවුරනු ලැබුවේ නම්, එහි දී ඔහුව නිදහස් කිරීමට ඔබට හැකියාව තිබුණේ නම්, ඔබ එසේ සිදු කළ යුතු වේ. එය ඔහුගේ දිවුරුම වෙනුවෙන් දිය යුතු ප්‍රතිකර්මය වෙත ඔහුව යොමු නො කරනු පිණිසය. පස්වැන්න: අසාධාරණයට පත් වූ අයට තම සහයෝගය පිරිනමා උපකාර කිරීම, අපරාධකරුගෙන් ඔහුට අත්වූ දෑ තම ශක්තියේ ප්‍රමාණයට අනුව එය වැළැක්වීම. හයවැන්න: විවාහ සංග්‍රහය, අකීකා සංග්‍රහය හෝ වෙනත් සංග්‍රහයක් සඳහා ආරාධනා කරන අයට ප්‍රතිචාර දැක්වීම. සත්වැන්න: සලාමය පැවසීම ප්‍රසිද්ධ කිරීම, එය පතුරුවා හැරීම හා ඒ සඳහා පිළිතුරු දීම. ඔවුනට තහනම් කළ දෑ: පළමුවැන්න: රනින් තැනූ මුදු පැළඳීම හා එහි ආභරණ පැළඳීම. දෙවැන්න: රිදී භාජනවල පානය කිරීම. තුන්වැන්න: සේද සෑදල මත වාඩි වීම. එය අශ්වයා හෝ ඔටුවා මත තබන ලද සේද ඇතිරිල්ලය. සිව්වැන්න: සේද මිශ්‍ර ලිනන් මගින් සාදන ලද ඇඳුම් වර්ගය. එය 'කස්සී' යනුවෙන් හඳුන්වනු ලැබේ. පස්වැන්න: සේද රෙදි ඇඳීම. හයවැන්න 'ඉස්තබ්රක් ඝනයේ සේද ඇඳීම. එනම් ඝන සේද රෙදි. සත්වැන්න: 'අද්-දීජාබ්' ඝනයේ සේද ඇඳිම. එය විශිෂ්ට ඝනයේ හා ඉතා වටිනා සේද වර්ගයකි.