හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ මෙනෙහි කර සිටියේය: අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සමඟ ආහාර වේලකට සහභාගී වූ විට, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) අත තබා ආරම්භ කරන තෙක් අපි අපගේ අත් නොතබමු. වරක් අපි එතුමාණන් සමඟ ආහාර වේලකට සහභාගී වූ විට කුඩා දැරියක් ඉදිරියට තල්ලු කරනු ලබනවාක් මෙන් දැඩි වේගයෙන් පැමිණියා ය. ඇය කෑමට අත තැබීමට සූදානම් වූ විට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ඇගේ අත අල්ලා ගත්හ. පසුව ගම්බද අරාබි වරයකු ඉදිරියට තල්ලු කරනු ලබනවාක් මෙන් වේගයෙන් පැමිණියේ ය. එතුමාණෝ ඔහු එම ආහාරය ස්පර්ශ කිරීමට පෙර ඔහුගේ අත් දෙක අල්ලා ගත්හ. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූූහ: සර්වබලධාරී අල්ලාහ්ගේ නාමය මෙනෙහි නොකරන ලද ආහාර ගැනීම මිනිසා ආරම්භ කළ විට ෂෙයිතාන් එය අනුමත කර ගන්නට බලයි. ඔහු මේ කුඩා දැරිය සමග එම ආහාරය අනුමත කර ගන්නට පැමිණියේය. නමුත් මම ඇගේ අත අල්ලා ගත්තෙමි. පසුව ඔහු මෙම ගම්බද අරාබිවරයා සමග එය අනුමත කර ගන්නට පැමිණියේය. නමුත් මම ඔහුගේ අත ද අල්ලා ගත්තෙමි. මගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරමි! නියත වශයෙන්ම ෂෙයිතාන් ගේ අත ඇගේ අත සමග මගේ අතේ ඇත. පසුව අල්ලාහ්ගේ නාමය පවසා ආහාර අනුභව කළේය.