නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මුආද් බින් ජබල් (රළියල්ලාහු අන්හු) තුමාව යමන් දේශයේ ජනතාවට ඉගැන්වීම පිණිස හා ඉස්ලාමය වෙත ඔවුන් ඇරයුම් කිරීම පිණිස එහි යැවූහ. ඔහුට කරනු ලැබූ නියෝග අතරින් එක් කරුණක් වූයේ මුස්ලිම්වරුන්ගෙන් ඔවුන්ගේ ගවයින් සඳහා වන සකාත් ලබා ගන්නා ලෙස ය. එනම් ගවයින් තිස් දෙනෙකුට වසරක් සම්පූර්ණ වූ තබීඃ වර්ගයේ ගවයෙකු හෝ තබීආ වර්ගයේ වැස්සියෙකු හෝ සකාත් වශයෙන් ගැනීම හා සෑම හතළිස් දෙනෙකුටම වසර දෙකක් සම්පූර්ණ වූ මුසින්නා වර්ගයේ එළදෙනෙකු සකාත් ලෙස ගැනීමය. එමෙන්ම ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයාගෙන් වැඩිහිටිභාවය ලැබූ සෑම පිරිමියෙකු වෙනුවෙන්ම එක් දීනාරයක් බදු වශයෙන් ගැනීම හෝ දීනාරයකට සමාන වටිනාකමක් ඇති මආෆිරී හෙවත් යෙමන් දේශයේ රෙදිපිළි ගැනීම ය.