හදීසුල් කුද්සි හෙවත් දිව්‍යමය ප්‍රකාශ ඇතුළත් නබි වදනක අල්ලාහ් ප්‍රකාශ කර ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ දන්වා සිටියහ. ආදම්ගේ පුත්‍රයා කරන යහපතට ඒ හා සමාන කුසල් දහයේ සිට හත්සීය දක්වා ඔහුට ගුණ කරනු ලැබේ. නමුත් උපවාසය හැර. සැබැවින්ම ඒ තුළ ප්‍රදර්ශනය කිරීමක් නොමැති බැවින් එය මා වෙනුවෙන් පමණක් වන්නකි. ඒ සඳහා ප්‍රතිඵල මා විසින්ම පිරිනමමි. එහෙයින් ඔහුගේ කුසල්හි ප්‍රමාණයත්, ඔහුගේ කුසල් ගුණ කිරීමත් පිළිබඳ මා පමණක් දනිමි. පසුව එතුමාණෝ මෙසේ පැවසූහ: (උපවාසය පලිහකි.) එනම්, අපා ගින්නෙන් ආරක්ෂාවකි; රැකවරණයකි; ආවරණයකි. ඊට හේතුව ආශාවන්ගෙන් හා පාපයට වැටීමෙන් ඔහු වැළකී සිටින බැවිනි. අපා ගින්න ආශාවන්ගෙන් වටලාගෙන ඇත. (නුඹලා අතරින් කිසිවකුගේ උපවාස දිනය වී නම්, ඔහු අසභ්‍ය ලෙස නො හැසිරිය යුතුය.) එනම් සංසර්ගයේ යෙදීමෙන් හා එයට මුලපිරෙන කටයුතුවල නිරත වීමෙන් වැළකී සිටිය යුතුය. එමෙන්ම අසභ්‍ය දෑ කතා නො කළ යුතුය. (මහා හඬින් නොමනා ලෙස කතා නොකළ යුතුය.) නොමනා තර්ක හා කෑකෝ ගැසීමෙන් වැළකී සිටිය යුතුය. රමළාන් මාසයේ (කිසිවකු ඔහුට බැණ වැදුණේ නම් හෝ ඔහු සමග රණ්ඩුවට පැමිණියේ නම් හෝ) ඔහු ‘සැබැවින්ම මම උපවාසයේ නිරතවන්නෙක්මි’ යැයි පැවසිය යුතුයි. එවිට ඔහු එයින් වැළකී සිටිය හැකිය. ඔහු රණ්ඩුවටම පැමිණෙන්නේ නම් වඩාත් සැහැල්ලු දැයින් ඔහුව වළක්වන්නට උත්සාහ කළ යුතුය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම ප්‍රාණය කවුරුන් සතුවේද ඔහු මත දිවුරා මෙසේ පවසා සිටියේය. "උපවාසය හේතුවෙන් උපවාසය රකින්නාගේ මුවින් හමන දුඟද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබ ළඟ ඇති කස්තූරිවලට වඩා සුවඳැතිය. සභාවක හා රැස්වීමක යොදනු ලබන කස්තූරියට වඩා කුසලින් එය අධික වන්නේය." උපවාසය රකින්නාට සතුට ගෙන දෙන අවස්ථා දෙකක් ඇත. ඔහු උපවාසයෙන් මිදෙන විට එමගින් කුසගිනි හා පිපාසය නිවා ගනිමින් සහනයක් ලබන විට ඇති වන සතුට හා උපවාසය සම්පූර්ණ කොට ඔහුගේ නැමදුම් අවසන් කරන විට ඇති වන සතුට එමෙන් ම තම පරමාධිපතිගෙන් සහනයක් ලැබිමේ හා උපවාසයට දායක වීමේ සතුට. (තම පරමාධිපති හමුවන විට තමන්ගේ උපවාසය පිළිබඳ ඔහු සතුටු වෙයි.) එනම් එවිට ඔහුගේ ප්‍රතිඵල හා ඔහුගේ කුසල් තුළින් සතුටු වෙයි.