සෑම ක්‍රියාවක්ම ගණන් ගනු ලබනුයේ චේතනාව අනුව බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කර සිටියි. නැමදුම් මෙන්ම ගනුදෙනු යන සියලු ක්‍රියාවන්හි මෙම නීතිය පොදුවේ පිළිපදිනු ලැබේ. එබැවින් පුද්ගලයකු ඔහුගේ කටයුතු තුළින් යම් ලාභයක් අපේක්ෂා කරන්නේ නම් එම ලාභය ඔහු ලබන අතර ඔහුට කුසල් හිමි වන්නේ නැත. ඔහුගේ ක්‍රියාව තුළින් ඔහු උත්තරීතර අල්ලාහ්ට සමීප වීම අපේක්ෂා කළේ නම්, ඔහුගේ ක්‍රියාව තුළින් ඔහු කුසල් හා ප්‍රතිඵල ලබනු ඇත. ආහාර හා පාන ගැනීම මෙන් එදිනෙදා කරන ක්‍රියාවක් වුව ද එලෙසමය. ඉන්පසුව මතුපිට ස්වරූපයෙන් චේතනාව හා ක්‍රියාව එකිනෙකට සමානව තිබිය දී, ක්‍රියාව තුළ චේතනාවට ඇති බලපෑම කෙසේ දැයි පැහැදිලි කිරීමට උපමාවක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඉදිරිපත් කළහ. ඒ අනුව, කවරෙකු තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් තම දේශය අත්හැර ඉන් නික්ම යාමට අපේක්ෂා කළේ ද ඔහුගේ නික්ම යෑම පිළිගනු ලබන ආගමික පිළිවෙතක් වේ. ඔහුගේ චේතනාවේ අවංකභාවය නිසාවෙන් ඒ සඳහා කුසල් ලැබෙනු ඇත. නමුත් ඔහුගේ නික්ම යෑම තුළින් ධනය, කීර්තිය ව්‍යාපාරය හා විවාහය වැනි ලෞකික ලාබයක් අපේක්ෂා කළේ ද ඔහු චේතනා කළ ලාභය මිස නික්ම යෑමේ කුසල් හෝ ප්‍රතිඵල ඔහුට ලබන්නේ නැත.