තම සහෝදර මුස්ලිම්වරයාට යහපත කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උපදෙස් දුන්හ. එමෙන්ම ඔහුට කළ යුතු වගකීම්, විනයන් හා එවැනි දෑ ගැන ද පැහැදිලි කළහ. ඒවා අතරින්: පළමු උපදෙස: කෙනෙකු සතු ආශිර්වාදය අහිමි කරන්නට සිතමින් නුඹලා එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරන්න. දෙවැන්න: නුඹලා එකිනෙකාට විරුද්ධව මිල වැඩි නොකරන්න. එනම් මිලදී ගැනීමට අපේක්ෂා නොකර භාණ්ඩයේ වටිනාකම වැඩි කර එමඟින් හුදෙක් විකුණුම් කරුට වාසිය අපේක්ෂා කිරීම. එසේ නැතහොත් පාරිභෝගිකයාට අවාසිය ඇති කිරීම අපේක්ෂා කිරීම මින් අදහස් වේ. තුන්වැන්න: නුඹලා එකිනෙකාට වෛර නොකරන්න. එනම් ආදරය කිරීමට විරුද්ධව අනෙකාට හිංසා කිරීමට පෙළඹීමයි. නමුත් උත්තරීතර අල්ලාහ් විෂයයෙහි කෝප වන්නේ නම්, සැබැවින්ම එය විය යුත්තක් වන්නේය. සිව්වැන්න: නුඹලා එකිනෙකා පසුපස හැරී නොයන්න. එනම් ඔබ අතරින් සෑම කෙනෙකුම තම සහෝදරයාව ප්‍රතික්ෂේප කොට ඔහුව හෙළා දැකීමෙන් වළකින්න. පස්වැන්න: කෙනෙකුගේ වෙළඳාමට එරෙහිව නුඹලා අතරින් කිසිවකු වෙළදාම් නොකළ යුතුයි. එනම්, භාණ්ඩය මිලදී ගන්නාට, එයට වඩා අඩු මිලට මා ළඟ තිබේ යැයි හෝ එහි මිලට වඩා හොඳ මිලක් මට ලබා දිය හැකි යැයි හෝ පවසා තම සහෝදර ව්‍යාපාරිකයාට එරෙහිව ව්‍යාපාර කිරීමය. පසුව එතුමාණෝ සමස්ත උපදේශනයක් මෙසේ පවසා සිටියහ. ඉහත සඳහන් කළ තහනම් දෑ අත්හැර දමා නුඹලා සහෝදරයන් ලෙස සිටින්න. ආදරය, කරුණාව සෙනෙහස, මෛත්‍රිය, යහපත් කටයුතුවල දී සහය, පිසිරිසිදු හදවතින් හා සෑම අවස්ථාවකම උපදෙස් දෙමින් ඔවුන් වෙත ලබා දෙන්න. මෙම සහෝදරත්වයේ අවශ්‍යතා අතර: මුස්ලිම්වරයා තම සහෝදරයාට අපරාධ කරන්නේ නැත. සීමාව ඉක්මවා කටයුතු කරන්නේ නැත. තම සහෝදර මුස්ලිම්වරයාට අසාධාරණයක් සිදු නොකළ යුතුය. ඔහුට උපකාර කිරීමට හැකි සෑම අවස්ථාවන්හි ඔහුව තවතවත් පහත් නොකර ඔහුට ලක්ව ඇති අසාධාරණය ඔහුගෙන් ඉවත් කළ යුතුය. ඔහුට අපහාස කරන්නේ නැත. ඔහුව අවතක්සේරු කරන්නේ නැත. අපහාසාත්මක හා අවමන්සහගත බැල්මෙන් ඔහු දෙස බලන්නේ නැත. සැබැවින්ම එය හදවතේ ඇති අහංකාරය නිසාවෙන් ඇති වන්නකි. තක්වා හෙවත් ශ්‍රද්ධාව හදවත තුළ ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තුන් වරක්ම පෙන්වා දෙමින් පැහැදිලි කළහ. කවරෙකුගේ සිත තුළ යහපත් සදාචාරය, අල්ලාහ් පිළිබඳ බිය, ඔහු ගැන මතකය පවතින්නේ ද සැබැවින්ම ඔහු කිසිදු මුස්ලිම්වරයකුව අවතක්සේරු කරන්නේ නැත. පුද්ගලයකු දුෂටයකු වීමටත් ඔහු තුළ පහත් ගුණාංග පිහිටීමටත් තම සහෝදර මුස්ලිම්වරයා අවතක්සේරු කිරීම ප්‍රමාණවත් වන්නේය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මුස්ලිම්වරයකුට තවත් මුස්ලිම්වරයකු සම්බන්ධයෙන් තහනම් වන කරුණු සහතික කර පැවසූහ. පළමුව ඔහුගේ රුධිරය, එනම් ඔහුව ඝාතනය කිරීමෙන් හෝ ඔහුට පහර දීම, තුවාල කිරීම වැනි දෙයකින් හෝ ඔහු සම්බන්ධව සීමාව ඉක්මවා කටයුතු කිරීමය. අනෙක ඔහුගේ දේපළ, එනම් කිසිදු යුක්තියකින් තොරව ඔහුගෙන් යමක් ගැනීමය. එමෙන්ම ගෞරවය. එනම්, ඔහු තුළ හෝ ඔහුගේ සිතුවිල තුළ ඔහුව අවමානයට පත් කිරීම ය.