නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා බහ්රය්න් වැසියන්ගෙන් බදු රැගෙන එන මෙන් අබූ උබය්දා -රළියල්ලාහු අන්හු- තුමාව යැවූහ. අබූ උබය්දා -රළියල්ලාහු අන්හු- තුමා මදීනාවට පැමිණි කල්හි ඒ ගැන අන්සාර්වරුන්ට දැනගන්නට ලැබිණ. ඔවුහු නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා වෙත පැමිණ ෆජ්ර් සලාතයේ දී එතුමා ඉදිරියේ රැස්වූහ. එතුමා සලාතය නිමා කොට හැරුණු කල්හි ඔවුහු ඒ ගැන එතුමාට සංඥා කළෝය. එවිට එතුමාණෝ මද සිනහ පෑහ. හේතුව නියත වශයෙන්ම ඔවුන් ධනය අපේක්ෂාවෙන් පැමිණි බැවිනි. එවිට එතුමා අබූ උබෙය්දා බහ්රෙය්න් සිට පැමිණීම ගැන නුඹලා දැන ගෙන ඇත(යි සිතමි). ඔවුහු: අල්ලාහ්ගේ දූතයාණනි, එසේය. ඒ ගැන අපේ කනට වැටුණි. එනම් අපගේ කොටස අප ලබන්නට අපි පැමිණ ඇත්තෙමු යැයි පැවසූහ. ඔවුන් සතුටට පත් කරන දෑ ගැන නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) ඔවුනට සුභ පැතූහ. ඔවුනට ඇති දිළිඳුකම ගැන තමන් බිය නොවන බවත්, හේතුව දිළින්දන් බහුතරයක් දෙනා පොහොසතුන්ට වඩා සත්යය වෙත ඉතා සමීපයෙන් සිටින බැවිනි. නමුත් තමන් මෙලොව සම්පත් ඔවුනට විවෘත වී ඔවුහු ඒ ගැන තෘෂ්ණාවෙහි වැටෙන බවත් තමන් බියවන ලෙස දන්වා සිටියහ. මිනිසෙකු තමන්ට යමක් ලැබෙන අවස්ථාවේ එය ප්රමාණවත් යැයි නොසලකා, හලාල් හරාම් පිළිබඳ නොතකා ධනය ලබා ගත හැකි කවර මාර්ගයක් භාවිත කරමින් හෝ තව තවත් අධිකව ලැබිය යුතු යැයි පතන බැවිනි, මෙය මෙලොව ජීවිතය පෙරටු කර ගත් මතු ලොව ජීවිතයෙන් ඈත් වී කටයුතු කරන පහත් තෘෂ්ණාව යන්නට කිසිදු සැකයක් නැත. එවිට එය ඔවුනට පෙර සිටියවුන් විනාශ කර දැමුවාක් මෙන් ඔවුන්වද විනාශ කර දමනු ඇත.