සෑම මුස්ලිම්වරයකුම තමන් වෙත පිරිනමා ඇති ආරෝග්‍යමත්භාවය සඳහාත් ඔහුගේ අස්ථි සන්ධි මොලවීමට හා දිගු හැරීමට හැකි සේ නිර්මාණය කර තිබීම සඳහාත් අල්ලාහ්ට කෘතඥ වනු පිණිස ඔහුගේ අස්ථි සන්ධි අතරින් සෑම පුරුකක ප්‍රමාණයට උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් අමතර දානයක් පිරිනැමිය යුතු බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ. සැබැවින්ම එම දානය ඉෂ්ඨ වනුයේ සියලුම ආකාරයේ දැහැමි ක්‍රියාවන් තුළිනි. මුදල් පිරිනැමීමෙන් පමණක් සිදු නොවේ. ඒ අතරින්: දෙදෙනෙකු අතර මතගැටුම් ඇතිවන විට ඔවුන් අතර ඔබ යුක්තිය ඉටු කිරීම හා ඔවුන් අතර සමතයට පත් කිරීම දානයකි. අසරණ අයකු තම වාහනයේ නංවාගෙන හෝ ඔහුගේ බඩුබාහිරාදිය ප්‍රවාහනය කරමින් ඒ සඳහා පහසුකම් සළසා දීම ද සදකාවකි. දික්ර් කිරීම, ප්‍රාර්ථනා කිරීම හා සලාම් පැවසීම වැනි යහපත් ප්‍රකාශය ද සදකා වේ. සලාතය සඳහා පය තබන සෑම පියවරක් තුළින් ද සදකාවක් ඇත. මාර්ගයේ හානිදායක දෑ ඉවත් කිරීම ද සදකාවකි.