නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ: සැබැවින්ම අල්ලාහ් පිවිතුරුය; පාරිශුද්ධය; සියලුම අඩුපාඩුවලින් තොර ය පූර්ණ භාවයන්ගෙන් හෙබි ය. පිවිතුරු දෑ මිස වෙනත් ක්‍රියාවන් හෝ ප්‍රකාශ හෝ විශ්වාසයන් හෝ ඔහු පිළිගන්නේ නැත. ඒවා අල්ලාහ්ට පමණක් විය යුතු අතර නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මග පෙන්වීමට අනුගත විය යුතු ය. මෙමගින් හැර අල්ලාහ් වෙතට කිසිවෙකුට සමීප විය නොහැක. දේවත්වය විශ්වාස කරන්නා ළඟ තිබිය යුතු අති වැදගත් පිවිතුරු ක්‍රියාව වනුයේ ඔහුගේ ආහාරයේ පිවිතුරු භාවයයි. එනම් එය අනුමත අහරක් විය යුතු ය. ඒ සඳහා ඔහුගේ ක්‍රියාව පිවිතුරු විය යුතුය. සැබැවින්ම උත්තරීතර අල්ලාහ් අනුමත ආහාර හා දැහැමි ක්‍රියාවන් අතරින් කවර කරුණක් සම්බන්ධයෙන් රසූල්වරුන්ට නියම කර ඇත්තේ ද එයම දේවත්වය විශ්වාස කරන්නන් හටත් නියෝග කර ඇත්තේ එබැවිනි. පසුව එතුමාණෝ “අහෝ දූතවරුනි, පිවිතුරු දැයින් අනුභව කරනු දැහැමි ක්‍රියාවන් සිදු කරනු. සැබැවින්ම මම නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ මැනවින් දන්නාය.” යන තේරුම දෙන (සූරතුල් මුඃමිනූන්හි 51 වැනි) පාඨය පාරායනය කළ අතර තවදුරටත් "අහෝ විශ්වාස කළවුනි, අපි නුඹලාට පෝෂණය කළ පිවිතුරු දැයින් අනුභව කරනු” යන තේරුම දෙන (සූරතුල් බකරා හි 173 වැනි) පාඨය පාරායනය කර පෙන්වූහ. පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ, ක්‍රියාව දූෂිත කරන, එය පිළිගැනීම වළක්වාලන තහනම් ආහාර සම්බන්ධයෙන් අවවාද කළ අතර, එය පිළිගැනීමට හේතු විය යුතු කරුණු කිහිපයක් ද ඉදිරිපත් කළහ. පළමුව: හජ් වන්දනාව, ජිහාද් නම් අරගලය හා ඥාතී සම්බන්ධකම් රැකීම වැනි අල්ලාහ්ට අවනතවන කටයුත්තක් සඳහා දිගු ගමනක නිරත වීමය. දෙවැන්න: හිසකෙස් පීරා ගත නොහැකි හේතුවෙන් එය අවුල් වී ගිය, දූවිලි හේතුවෙන් ඔහුගේ වර්ණය හා ඔහුගේ වස්ත්‍රයේ වර්ණය වෙනස් වූ කෙනෙකි. ඔහු හදිසි අවස්ථාවක පසුවන අයෙකි. තුන්වැන්න: ඔහු ප්‍රාර්ථනා කිරීම සඳහා අහස දෙසට තම දෙඅත් ඔසවා ගනියි. සිව්වැන්න: අල්ලාහ් වෙත ඔහුගේ නාම ආරෝපණය කර එහි දී අහෝ මාගේ රබ්, අහෝ මාගේ රබ් යැයි අවධාරණය කොට කණ්ණලව් කරයි. මෙවන් හේතූ සාධක ඔහු සතුව තිබුණ ද ඔහුගේ ප්‍රාර්ථනාවට සවන් දෙනු නොලැබේ. ඊට හේතුව ඔහු ගත් ආහාරය, ඔහු පානය කළ පානය, ඔහු ඇඳ ඇති වස්ත්‍රය හරාම් හෙවත් තහනම් වූ බැවිනි. ඔහු හරාම් දැයින්ම වැඩී ඇත. මෙවන් ගුණාංග ඇති අයගේ ප්‍රාර්ථනාව පිළිගනු ලබන්නේ නැත. මෙසේ තිබිය දී එය පිළිගනු ලබනුයේ කෙසේ ද?