දිනක් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ෆජ්ර් සලාතය මෙහෙයවා මින්බරයට නැග ලුහර් අදාන් පවසන තෙක්ම ජනයාට දේශනා කළහ. පසුව බැස ලුහර් සලාතය ඉටු කළහ. පසුව නැවතත් මින්බරයට නැග අසර් අදාන් පවසන තෙක් දේශනා කළහ. පසුව බැස අසර් සලාතය ඉටු කළහ. පසුව මින්බරයට නැග හිරු අවරට යන තෙක්ම දේශනා කළහ. එනම් ෆජ්ර් සලාතයේ සිට හිරු බැස යන තෙක්ම සම්පූර්ණ දිනයක්ම දේශනා කළහ. එදින අල්ලාහ් එතුමාණන්ට ගෙවී ගිය අතීතයේ පැවති ගුප්ත දැනුමෙන් යමක් ද අනාගතයේ සිදුවන්නට යන ගුප්ත දැයින් යමක්ද දන්වා සිටියේය. එය සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා තම මිතුරන්ට දන්වා සිටියහ. එදින එතුමා විසින් පැවසූ දෑ මැනවින් දැනගත් උදවිය වූයේ කටපාඩම් කර ගනිමින් එය තම මතකයේ ස්ථාපිත කරගත් අය වූහ.