මුආද් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පවසා සිටියේය: මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග එක්තරා ගමනක නිරත වී සිටියෙමි. අපි ගමන් කරමින් සිටිය දී දිනක් එතුමාණන් සමීපයට මා පැමිණ: “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ස්වර්ගයට මා ඇතුළත් කරන, නිරා ගින්නෙන් මා දුරස් කරන ක්‍රියාවක් ගැන මට දන්වා සිටින්නැයි” විමසා සිටියෙමි. එතුමාණෝ: “සැබැවින්ම ඔබ ආත්මයට වඩාත් වැදගත් කරුණක් පිළිබඳ මගෙන් විමසා ඇත්තෙහිය. අල්ලාහ් කවරෙකුහට පහසු කරන්නේ ද එවැන්නන්හට සැබැවින්ම එය පහසුය. ඔබ ඉස්ලාමයේ වගකීම් ඉටු කරන්න:" යැයි පැවසුහ. පළමුවැන්න: ඔබ අල්ලාහ්ට නැමදුම් කරන්න. ඔහුට කිසිවක් ආදේශ නොකරන්න. දෙවැන්න: දහවල් හා රාත්‍රී කාලයන්හි අනිවාර්යය කරන ලද ෆජ්ර්, ලුහර්, අසර්, මග්රිබ්, සහ ඊෂා යන සලාත් වාරයන් ෂුරූත් හෙවත් ඒවායෙහි කොන්දේසි, අර්කාන් හෙවත් මූලිකාංග හා වාජිබාත් හෙවත් අනිවාර්යය කටයුතු පිළිපදිමින් විධිමත්ව ඉටු කරන්න. තුන්වැන්න: නියම කරනු ලැබූ සකාත් ද නිකුත් කරන්න. එය මූල්‍යමය වශයෙන් ඉටු කරන නැමදුමකි. ආගමික නීතිය තුළ නියම කරන ලද ප්‍රමාණයට තම මුදල ලඟා වී ඇත්නම් එය නිකුත් කළ යුතු අතර එයට සුදුසුකම් ලබන්නන් හට පිරිනමනු ලැබේ. සිව්වැන්න: රමළාන් උපවාසය රැකීම. එනම් අල්ලාහ්ට කරන නැමදුමක් ලෙස අදිටන් කර අලුයම උදාවේ සිට හිරු අවරට යන කාලය දක්වා ආහාර පාන හා අනෙකුත් උපවාසය අවලංගු කරන ක්‍රියාවන්ගෙන් වැළකී සිටීමය. පස්වැන්න: සර්වබලධාරී අල්ලාහ් වෙනුවෙන් කරන නැමදුමක් ලෙස වන්දනාමාන ඉටු කිරීම සඳහා මක්කා වෙත ගොස් දේව නිවසෙහි හජ් වන්දනාව ඉටු කිරීම. පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ තවදුරටත්: "යහපත්කමේ දොරටු වෙත ළඟා කරවන මාධ්‍යයන් පිළිබඳ මා නුඹලාට කියා දිය යුතු නොවේ ද?" යැයි විමසා සිටියහ. "එනම්, එම වගකීම් ඉටු කරනවාත් සමග අදාළ අතිරේක දෑද පිළිපැදීමය." පළමුව: අතිරේක උපවාසය වේ. එය පාපකම් තුළට වැටීමෙන් ආරක්ෂා කරන්නක් වන අතර කාමුක ආශාවන් බිද දමන්නකි. ශක්තිය හීන කරන්නකි. දෙවැන්න: සදකා හෙවත් අමතරව ඉටු කරන දානයයි. එය වරදක් සිදු කළ පසුව එය නිවා දමනු ඇත. එය පහ කරනු ඇත. ඉන් ඇතිවන බලපෑම මකා දමනු ඇත. තුන්වැන්න: රාත්‍රියේ අවසන් තුනෙන් එකක පළමු කොටසෙහි තහජ්ජුද් සලාතය ඉටු කිරීමය. පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ: “තතජාෆා ජුනූබුහුම්" ඔවුන්ගේ ඇළපැති ඈත්ව තබති "අනිල් මළාජිඉ" නිදිහයනින් යන පාඨය පාරායනය කළහ. එනම්, එය සලාතය, දික්ර් හෙවත් අල්ලාහ්ව මෙනෙහි කිරීම, අල් කුර්ආනය පාරායනය කිරීම, ප්‍රාර්ථනා කිරීම යනාදිය සඳහාය. (එය කැමැත්තෙන් හා භක්තියෙන් යුතුව ය. අපි ඔවුන්ට පෝෂණය කළ දැයින් ඔවුහු වියදම් කරති. ඔවුන් වෙනුවෙන් සඟවා ඇති නෙතට සිසිලස ගෙන දෙන දෑ කිසිදු ආත්මයක් නොදනී.) එනම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ගයේ පවතින ඔවුන්ගේ නෙත් පිනවන සුව පහසුකම්ය. (එය ඔවුන් සිදු කරමින් සිටි දෑට ප්‍රතිඵලයක් වශයෙනි.) පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ: "දහමෙහි මූලය, එය රැඳී ඇති එහි කුළුණ හා එහි උච්චතම ස්ථානය ගැන මම ඔබට දන්වා සිටිය යුතු නොවේ ද?" යැයි විමසා සිටියහ. මුආද් (රළියල්ලාහු අන්හු) තුමා: "එසේය අල්ලාහ්ගේ දූතයාණනි," යැයි පවසා සිටියේය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: "කටයුත්තේ සිරස ඉස්ලාමයයි. එය සාක්ෂියේ ප්‍රකාශ දෙක ය. දහමෙහි මූලය මිනිසා සමග බැඳී පවතිනුයේ ඒ දෙක සමගය. යැයි පැවසුහ. එහි කුළුණ සලාතයයි. සලාතයෙන් තොරව ඉස්ලාමය නැත. එය කුළුනක් නොමැතිව නිවසක් පිහිටන්නේ නැති සේය. කවරෙකු සලාතය ඉටු කළේ ද ඔහුගේ දහම ශක්තිමත් වී එය උසස් වන්නේය. එහි උච්චතම හා ඉහළම ස්ථානය ජිහාද් හෙවත් අරගලය වේ. අල්ලාහ්ගේ ප්‍රකාශය උසස් වනු පිණිස දහමට විරුද්ධවන සතුරන් සමග අරගල කිරීමට තමන්ව කැප කිරීමකි. පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ තවදුරටත්: "ඉකුත්ව ගිය දෑහි පදනම හා තීන්දුව මා ඔබට දන්වා සිටිය යුතු නොවේ ද?" යැයි විමසා එතුමාණෝ තම දිව අල්ලා ‘ඔබ මෙය වළක්වා ගන්න. ඔබට අවශ්‍ය නැති දෑ ගැන ඔබ කතා නොකරන්න' යැයි පවසා සිටියහ. මුආද් තුමා: "අපි කතා කරන සෑම කරුණක් ගැන අපෙන් විසමනු ඇත් ද? ඒ හේතුවෙන් අපි වැරදි කරුවන් බවට හසු කර, දඬුවම් කරනු ඇත් ද?" යැයි විමසුවේය. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ: "අහෝ මුආද්, ඔබේ මව ඔබට අහිමි වේවා! (මෙය ඔහුට එරෙහිව කළ ප්‍රාර්ථනාවක් නොවේ. මෙය යමක් දැනුම් දීමට හෝ දැනුම්වත් කිරීමට හෝ අවශ්‍ය කරුණක් වී නම්, ඒ ගැන අවදි කිරීම සඳහා අරාබිවරුන් භාවිතා කරන සාමාන්‍ය ප්‍රකාශයකි). පසුව එතුමාණෝ: "ජනයා ඔවුන්ගේ මුහුණු මත (ඔවුන්ගේ නාස් පුඩු මත) මුණින් ඇද දමනුයේ ඔවුන්ගේ අවිශ්වාසය, අපහාසය, ශාප කිරීම, බැන වැදීම, අවමන් කිරීම, අපහාස කිරීම යනාදී ඔවුන්ගේ දිවවල් නෙළා ගත් දෑ මිස වෙන කුමක් දැ?"යි පවසා සිටියහ.