මෙම හදීසයේ තේරුම: සැබැවින්ම අබ්දුර් රහ්මාන් ඉබ්නු අවුෆ් -රළියල්ලාහු අන්හු- තුමා දිනක් උපවාසයේ නිරතව සිටියහ. ඉෆ්තාර් නොහොත් උපවාසයෙන් මිදෙන අවස්ථාව පැමිණි විට එතුමා වෙත ආහාරයක් ගෙන එන ලදී. පොදුවේ උපවාසය රකින්නෙකු එම ආහාරයට ඇලුම් කරයි. නමුත් එතුමා ආරම්භක සහාබාවරුන්ට සිදු වූ දෑ පිළිබඳව මෙනෙහි කළහ. එතුමාද අාරම්භක සහාබාවරුන් සමග හිජ්රත් කළ මුහාජිර් වරයෙකි. නමුත් තමන් ගැන තමන්ම පහත් කොට සලකා මෙසේ පැවසීය. සැබැවින්ම මුස්අබ් ඉබ්නු උමය්ර් -රළියල්ලාහු අන්හු- තුමා යටහත් බවින් හා ඉවසීමෙන්, එසේ නැතිනම් දිළිඳුකම හා ඉවසීම තෝරාගැනීමේ මනෝභාවයෙන් මට වඩා ශ්රේෂ්ඨ අයෙකි. කෙසේ නමුත් විද්වතුන් පැහැදිලි කර සිටිනුයේ: ස්වර්ගයේ හිමිකාරත්වය ගැන ශුභාරංචි දන්වනු ලැබූ සහාබාවරුන්, සෙසු සහාබාවරුන්ට වඩා උසස් බවය. මුස්අබ්-රළියල්ලාහු අන්හු- තුමා ඉස්ලාමයට පෙර මක්කාවේ තම දෙමව්පියන් සමග ජීවත් වූ අයෙකි. තම පියාණන් ධනවතෙකි. තම මව හා පියා තාරුණ්යයට ගැලපෙන උසස් ගණයේ ඇඳුම් ඔහුට ඇන්දවූහ. ඉතා සතුටුමත් ජීවිතයක් ඒ දෙදෙනා ඔහුට දුන්හ. නමුත් එතුමා ඉස්ලාමය වැළඳ ගත් කල්හි ඔවුන් දෙදෙනා ඔහුව වෙන් කළෝය. දුරස් කළෝය. එතුමා නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සමග හිජ්රත් ගියහ. පසුව ඔහු ද හිජ්රත් ගිය අය අතුරින් කෙනෙකු විය. මක්කාවේ තම දෙමාපියන් ඉදිරියේ අලංකාර ඇඳුමින් සැරසී සිටි මෙතුමාට ඒ වන විට සතු වූයේ හිල් ආවරණය කරනු ලැබු රෙදි කඩක් පමණි. නමුත් එතුමා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙනුවෙන් ඒ සියල්ල අතහැර දමා හිජ්රත් කළහ. උහද් යුද දිනයේ කොඩිය නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා එතුමාට පිරිනැමීය. එහිදී එතුමා දිවි පිදූහ. ඔහු සමග රෙදි කඩක් පමණක් විය. එයින් ඔහුගේ හිස ආවරණය කළ විට ඔහුගේ දෙපා හෙළි විය.එමෙන්ම ඔහුගේ දෙපා ආවරණය කළ විට හිස හෙළි විය. හේතුව එය එතරම් කුඩා රෙදි කඩක් වූ බැවිනි. පසුව එමගින් ඔහුගේ හිස වසා දමන ලෙසටත් ඔහුගේ දෙපා ඉද්හර් හෙවත් පැළෑටි වර්ගයකින් වසා දමන ලෙසටත් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අණ කළහ. මෙම ශ්රේෂ්ඨ මිනිසා ගැන අබ්දුල්ලාහ් ඉබ්නු අවුෆ් තුමා මෙනෙහි කරන්නට විය. පසුව, “සැබැවින්ම ඔවුන් ඉකුත්ව ගොස් ඇත. මෙලොවෙහි අල්ලාහ් ජය ලබා දුන් දැයින් ඝනීමත් හෙවත් යුද්ධයේදී සතුරා විසින් අතහැර පළා ගිය වස්තූන් බොහෝමයක් ඔවුනට පසු පැමිණෙන්නන් සඳහා භාර දී ඇත“ යැයි පැවසූහ. එය සූරා අල් ෆත්හ් හි 19 වැනි පාඨය මෙසේ දන්වා සිටියි. ‘‘යුද්ධයේදී සතුරා විසින් හැර දමා ගිය දෑ බොහෝමයකි. ඔවුහු එය අරගත්තාහ.“ පසුව අබ්දුර් රහ්මාන් ඉබ්නු අවුෆ් -රළියල්ලාහු අන්හු- තුමා: අපගේ කුසල් අපට ඉක්මන් කර දෙනු ලැබී ඇතැයි සැබැවින්ම අපි බිය වීමු යැයි පැවසූහ. එනම්: අල් ඉස්රා පරිච්ඡේදයේ 18 වැනි පාඨයේ සඳහන්, “කවරෙකු මෙලොව පතන්නේ ද අපි ප්රිය කරන අයට අපගේ අභිමතය පරිදි එහි ඔහුට ඉක්මන් කර දෙන්නෙමු. පසු ව නිරය ඔහුට නියම කරන්නෙමු. ඔහු එහි අවමානයට ලක් වූ අභාග්ය සම්පන්නයෙකු සේ පිවිස දැවෙනු ඇත.“ යන කියමනට හෝ අල් අහ්කාෆ් පරිච්ඡේදයේ 20 වැනි පාඨයේ සඳහන්, “තවද ප්ර්තික්ෂේප කළවුන් (නිරා) ගින්නට ඉදිරිපත් කරනු ලබන දින නුඹලාගේ මෙලොව ජීවිතයේ දී නුඹලාගේ යහපත් දෑ නුඹලා පහ කර යවා ඇත. තවද නුඹලා ඒවා භුක්ති විඳ ඇත. එහෙයින් අද දින නුඹලා කිසිදු සාධාරණයකින් තොරව උඩඟුකම් පෑ හේතුවෙන් ද නුඹලා පාපකම් සිදුකරමින් සිටි හේතුවෙන් ද නින්දිත දඬුවම ප්ර්තිඵල වශයෙන් දෙනු ලබන්නෙහුය.“ යන වාක්යයට අදාළ අභාග්ය වන්තයකු බවට අප පත් වී ඇත්තෙමු දැයි බිය වීමු යන්නයි. මෙය උමර් රළියල්ලාහු අන්හු තුමා විසින් වාර්තා කළ හදීසය පරිදිය. ඔවුන් තුළ බියක් ඇති වීමට හේතු වූයේ බොහෝ විට මේ නිසාය. එහෙයින් එතුමා තමන්ගේ යහකම් සඳහා වූ ප්රතිඵල මෙලොවෙහිම ඉක්මන් කොට පිරිනමා ඇතැයි බියට පත් වූහ. තමන්ට පෙර ඉකුත්ව ගිය දැහැමියන් සමඟ තමන්ට එක්විය නොහැකිවේදෝයි යන බියෙන් ඇඬූහ. පසුව එතුමා එම ආහාරය ප්රතික්ෂේප කළහ.